ගබ්සාව අපරාධයක් නොවේ - වෛද්‍ය විශේෂඥයෝ

කළලයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ගබ්සාව සෞඛ්‍ය ගැටලුවක් ලෙසින් විනා අපරාධයක් ලෙසින් නොසැලකිය යුතු බව, බ්‍රිතාන්‍යයේ ඉහළම පෙළේ ප්‍රසව හා නාරි වේද විශේෂඥයෝ පවසති.

වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ අනුමැතියකින් තොරව ගබ්සාවක්‌ සිදු කිරීම වර්තමානයේ එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තයේ නීති විරෝධී කටයුත්තක් වන අතර එය සිර දඬුවම් ලැබිය හැකි වරදකි.

එහෙත් ගබ්සාව දඬුවම් ලැබිය හැකි අපරාධයක් බවට පවතින නීතිය ඉවත් කොට වෙනත් සෞඛ්‍ය ගැටළු හා සමාන ආකාරයට ගබ්සාව ද පාලනයකට නතු කළ යුතු බව ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලය (Royal College of Obstetricians and Gynaecologists) නිර්දේශ කර තිබේ.

සති 24 කට වඩා පිරුණු දරු ගැබක් ගබ්සා නොකළ යුතු බව ද විශේෂඥයෝ පවසති.

"ප්‍රධානම සෞඛ්‍ය සේවයක් ලෙසින්" ගබ්සාව සඳහා කාන්තාවන්ට අවස්ථාව සලසා දීම සිය ආයතනයේ ප්‍රධානම වගකීමක් බව ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලයේ සභාපතිනි, මහාචාරිනී ලෙස්ලි රේගන් (Lesley Regan) සඳහන් කළාය.

"ගබ්සාව අපරාධයක් නොවිය යුතුය යන්නෙන් අපි අදහස් කරන්නේ ඒක පාලනයකට නතු නොකළ යුතුයි යන්න නොවෙයි කියල මම පැහැදිලිව කියන්න ඕනේ," ඇය සඳහන් කළාය.

"අනෙක් සෑම සෞඛ්‍ය ක්‍රමවේදයක් වගේම ගබ්සාවත් නිසි පාලනයකට සහ වෘත්තීය ප්‍රමිතියකට නතු කළ යුතුයි."

ගබ්සාව අපරාධයක් නොවිය යුතුය යන යෝජනාව, පසුගිය ජුනි මාසයේ පැවැත්වුණු බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ වාර්ෂික සැසිවාරයේදී වෛද්‍ය සංගමය විසින් ද අනුමත කරන ලදි.

ශ්‍රී ලංකාව

වීඩියෝ ශීර්ෂ වැකිය, "ජීවත් කරන්න බැරි කෙනෙක් තියා ගෙන විඳින දුක දන්නේ ඒ අම්මා විතරයි"

මේ අතර විශේෂිත අවස්ථාවන් හිදී ගබ්සාව සඳහා අවසර දීමේ යෝජනාවකට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමැතිය පළ කළේය.

ඒ අනුව ලිංගික අතවරයකට ලක්ව ගැබ් ගත්තේ නම් හෝ ඉපදීමට නියමිත දරුවා මාරාන්තික උපත් ආබාධයකින් යුක්ත නම් මවගේ කැමැත්ත මත කළලය ගබ්සා කිරීමට නීතියේ අනුමැතිය හිමිවේ.

ඒ සඳහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගේ අනුමැතිය ලැබිය යුතු අතර, සැත්කම සිදු කළ යුත්තේ රජයේ රෝහලකදී පමණි.

එම යෝජනාවට වෛද්‍ය විශේෂඥයන් ද සහාය පළකරන නමුත් "ශුද්ධවත් ජීවිතය කෙලසීමට පිළිසිඳ ගත් මොහොතේදී පවා අයිතියක් නොමැති බව," ඒ පිළිබඳව ප්‍රතිචාරය පළකරමින් කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

වෛද්‍ය විශේෂඥයන්ගේ යෝජනාව සහ ආගමික නායකයන් පළ කරන විරෝධය පිළිබඳව ශ්‍රී ලංකා සමාජය තුළ දැන් සංවාදයක් මතු වී තිබේ.

"දරුවෙක් අංගවිකල වුනා කියලා, දරුවෝ බලාපොරොත්තු වුනාට වඩා ලැබුණා කියලා ඒ දරුවන් නැතිකර දැමීම වරදක්. මහා අපරාධයක්"
ඡායාරූප ශීර්ෂ වැකිය, "දරුවෙක් අංගවිකල වුනා කියලා, දරුවෝ බලාපොරොත්තු වුනාට වඩා ලැබුණා කියලා ඒ දරුවන් නැතිකර දැමීම වරදක්. මහා අපරාධයක්"

සිය වේදනාව විස්තර කරන, මාරාන්තික උපත් ආබාධයකින් පෙළෙන දරුවෙකු බිහි කළ මවකගේ අනුවේදනීය අත්දැකීම ඇතුළත් විශේෂාංගයක් බීබීසී සිංහල සේවය පසුගියදා ඉදිරිපත් කළේය.

ඇය පවසන පරිදි ගැබ් ගෙන මාස තුනක් ගත වෙත්ම සිය දරුවා මාරාන්තික උපත් ආබාධයකින් පෙළෙන බව වෛද්‍යවරුන් නිගමනය කර තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේ පවතින නීතිය හේතුවෙන් දරු ගැබ ගබ්සා කිරීමට ඇයට අවස්ථාවක් නොවීය.

"දවස් එකොළහක් දරුවා ජීවත් වුනා. අන්තිමට දොස්තරලා කිව්වා මෙයාව ජීවත් කරන්න අමාරුයි, මැෂින් ගලවනවා කියලා. ඊට පස්සේ මගේ දරුවා නැති වුනා."

"ජීවත් කරන්න බැරි කෙනෙක් තියා ගෙන විඳින දුක දන්නේ ඒ අම්මා විතරයි."

ප්‍රසුතිය සඳහා සිසේරියන් සැත්කමකට මුහුණ දුන් තමන් ද දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයට පත් වූ බව ද ඇය කියා සිටියාය.

"මට තව දරුවෙක් ඉන්නවා. එයාට වයස හතර හමාරයි. දරුවා කුසේ ඉන්න කාලේ මට අනතුරක් වුනා නම් මගේ දරුවා බලා ගන්න කවුරුත් නැති වෙනවා."

වීඩියෝ ශීර්ෂ වැකිය, ගබ්සාව, නීතිය සහ ආගමික නායකයන්ගේ විරෝධය

සෞඛ්‍ය අමාත්‍යංශ සංඛ්‍යා ලේඛනවලට අනුව දිනකට ශ්‍රී ලංකාවේ නීති විරෝධී, අනාරක්ෂිත ආකරයට ගබ්සා 600 ක් පමණ සිදුවේ.

මෙලෙස කාන්තාවන් අනාරක්ෂිත ක්‍රම සඳහා යොමුවීම හේතුවෙන් කාන්තාවන් විවිධ රෝගාබාධවලට ලක්වීම මෙන්ම නැවත ගැබ් ගැනීම වැළකීමේ සිදුවීම් ද වාර්තාවී ඇති බව ශ්‍රී ලංකා ළමා ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිනි වෛද්‍ය හිරන්ති විජේමාන බීබීසී සිංහල සේවයට පැවසීය.

"දැන් තියෙන නීතිය 1883 නීතියක්, අපි දැන් ඉන්නේ 2017, මේක දැනට ඔබින ආකරයට සංශෝධනය විය යුතුයි," ඇය කියා සිටියාය.

එහෙත් දරුවෙකු ඉපදීම යනු "දෙවියන් වහන්සේගේ සැලැස්ම," බව පසුගියදා තේවත්ත බැසිලිකාවේ පැවැති දේව මෙහෙයක් අමතමින් සඳහන් කළ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්, "දරුවෙක් අංගවිකල වුනා කියලා, දරුවෝ බලාපොරොත්තු වුනාට වඩා ලැබුණා කියලා ඒ දරුවන් නැතිකර දැමීම වරදක්. මහා අපරාධයක්," යනුවෙන් ද සඳහන් කළහ.

මේ අතර ආගමික නායකයන්ගේ විරෝධය මත අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ ජනපති නියමයෙන් තාවකාලිකව අත්හිටුවා ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි.

උතුරු අයර්ලන්තය

ගබ්සාව සම්බන්ධයෙන් එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තයේ නීතියට වඩා දැඩි නීති විධිවිධාන උතුරු අයර්ලන්තයේ පවතී.

උපත් ආබාධ සහිත දරුවෝ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

උතුරු අයර්ලන්තයේ ගබ්සාව සඳහා අවසර ලැබෙන්නේ දරු ගැබ හේතුවෙන් මවගේ ජීවිතයට අනතුරක් තිබෙන්නේ නම් හෝ එමගින් ඇයගේ ශාරීරික හෝ මානසික සෞඛ්‍යයට බරපතල අවදානමක් එල්ල වන්නේ නම් පමණි.

මේ තත්වය යටතේ උතුරු අයර්ලන්තවාසී කාන්තාවන්ට නොමිලේ ගබ්සා පහසුකම් සපයන බව මේ වසර මුලදී බ්‍රිතාන්‍ය ආණ්ඩුව නිවේදනය කළේය.