ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හම්බන්තොට අක්කර 15,000 ක් පවරාගන්නේ නෑ - මහින්ද
හම්බන්තොට නව සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ජනතාව දැනට පදිංචිව සිටින ඉඩම් පවරා නොගන්නා බව ධීවර සහ ජලජ කටයුතු අමාත්‍ය මහින්ද අමරවීර අවධාරණය කරයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා ඒ බව කියා සිටියේ ඉඩම් පවරාගැනීමේ සැලසුම්වලට එරෙහිව හම්බන්තොට ජනතාව දිගින් දිගටම දියත් කරමින් සිටින උද්ඝෝෂණ පිළිබඳව බීබීසී සංදේශය ආණ්ඩුවේ ප්‍රතිචාරය විමසූ අවස්ථාවේදීය.
"අපි තීන්දු කරලා තියෙන්නේ හිස්ව තියෙන මුඩු ඉඩම්වල මේ කර්මාන්ත පුරය හදන්න කියල. ඒ වගේම අක්කර 15,000 ක් කිසිසේත්ම හම්බන්තොටින් දෙන්නේ නැහැ," අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
පසුගියදා කොළඹදී මාධ්‍ය හමුවක් ඇමතූ අමාත්‍ය මලික් සමරවික්‍රම, චීනය සමග ඇතිකරගත් එකඟතාවන් අනුව දකුණු පළාතේ ඉදිරි වසර පහ-හය තුළ කර්මාන්තශාලා 2400ක් බිහිවීමට නියමිත බව සඳහන් කළේය.
කෙසේ නමුත් අදාළ සංවර්ධන ව්‍යාපෘති හම්බන්තොටට පමණක් සීමාවූවක් නොවන බව පවසන ප්‍රදේශය නියෝජනය කරන අමාත්‍ය මහින්ද අමරවීර, එම ව්‍යාපෘති මොනරාගල ඇතුළු අනෙකුත් දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත කරන බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අවධාරණය කළ බව බීබීසී සංදේශයට පැවසීය.
මේ අතර හම්බන්තොට පැවති විරෝධතාවයකය එක් වූ ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ කැඳවුම්කරු කේඩී ලාල් කාන්ත, කර්මාන්ත මුවාවෙන් ලෝක බලවතුන් 'ශ්‍රී ලංකාව ගිලගැනීමට' සැරසෙන බවට චෝදනා කළේය.
"නැත්නම් අක්කර 15000 ක් ඕන වෙන්නේ නෑ," ලාල් කාන්ත පැවසීය.
එහෙත් ඇතැම් කණ්ඩායම් දේශපාලන වාසි ලබාගැනීම පිණිස 'ජනතාව කුපිතකරමින් සිටින' බවයි, මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසන්නේ.
හම්බන්තොට ආයෝජන කලාපයේ සේවය කිරීම පිණිස චීන ජාතිකයන් දසලක්ෂයකට වීසා බලපත්‍ර ලබාදීමට සැරසෙන බවට ආණ්ඩුවේම හවුල්කරුවන් ඇතුළු ඇතැමුන් එල්ලකරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අමාත්‍යවරයා, හම්බන්තොට 'චීනයේ කොටසක් බවට පත්කිරීමට' කිසිදු අවශ්‍යතාවයක් ආණ්ඩුවට නොමැති බව සඳහන් කළේය.
හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රදේශයේ ජනතාව සතු පාරම්පරික ඉඩම් පවරා නොගන්නා බව නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද පසුගියදා අවධාරණය කර තිබුණි.