ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජෝති සහ අමරදේව හඬින් අන්තර්ජාලය කලඹන රොෂාන්
"පායා ආ සඳ අඳුරු වලාවෙන් ..... "
කටාරයේ කුඩා කුටියකින් නැගෙන මියුරු ගී රාවයක්.
මැදපෙරදිග කටෝර කාන්තාරයට ඇද හැලෙන සිසිල් දිය දහරක්.
පණ්ඩිත් අමරදේව ශූරීන්, මිල්ටන් මල්ලවාරච්චි සහ එච්ආර් ජෝතිපාලයන්ගේ හඬින් රසිකයන් පිනවන ඔහු, ශ්‍රී ලංකාවේ නම දිනූ ජනප්‍රිය තාරුකාවක් නම් නොවේ.
ඔහු රොෂාන් බුද්ධික. කටාරයේ විදුලි සංදේශ ආයතනයක සේවකයෙක්. (සංදේශයට සවන්දෙන්න)
"ඇත්තටම මම ලංකාවේදී යාලුවන්ගේ බෑන්ඩ්වල සින්දු කියල තියෙනව. හැබැයි මම සංගීතය හදාරලා නෑ," රොෂාන් සිය පසුබිම බීබීසී සංදේශය සමඟ විස්තර කළේ එලෙසින්.
ජංගම දුරකතනවල ස්මියුල් නම් මෘදුකාංගය හරහායි, රොෂාන් සිය මියුරු ගී රාවයෙන් ඔබ අප එසේ කුල්මත් කරන්නේ.
"දැන් මාස එකහමාරකට විතර කලින් මෙහෙම ආරංචියක් ආව 'ස්මියුල්' (Smule) කියන ඇප් එක ගැන. ඒක ඩවුන්ලෝඩ් කරගෙන කැරිඔකි වගේ සින්දු කියන්න පුළුවන් කියල."
එසේ ආරම්භ වූ රොෂාන් ගේ ගීත චාරිකාව දැන් අන්තර්ජාලය කළඹන්නක් බවට පත්වෙලා.
දිනපතාම පාහේ ෆේස්බුක් සමාජ ජාලයට ඔහු මුදාහරින මියුරු ගීත කෙතරම් ජනප්‍රියද යත් මේ වනවිට ඔහුගේ එක් ගීතයක් නැරඹු පිරිස ලක්ෂ පහකට අධිකයි.
"ඇත්තටම ප්‍රතිචාරය හිතාගන්න බෑ. Unbelievable."
සිංහල භාෂාවෙන් පමණක් නොව හින්දි භාෂාවෙන්ද මියුරු ලෙසින් ගී ගයන ඔහු, ස්මියුල් මෘදුකාංගය ඔස්සේ යුග ගී ගයන්නේ අන්තර්ජාලය ඔස්සේම හඳුනාගත්, ලොව පුරා විවිධ රටවල වෙසෙන මිතුරු මිතුරියන් සමගින්.
අනාගතයේදී යළි සියරට පැමිණ තමාගේම වූ සංගීත චාරිකාවක් ආරම්භ කිරීම රොෂාන් බුද්ධිකගේ බලාපොරොත්තුවයි. (රොෂාන් බුද්ධික සමඟ සාකච්ඡාව රැගත් සංදේශය වැඩසටහන)