අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය 'ප්‍රසිද්ධියේ විනාශ කරන්න'

පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සියල්ල ප්‍රසිද්ධියේ ගිනි තබා විනාශ කිරීමට කටයුතු කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් ඉල්ලා සිටින බව රාජ්‍ය ව්‍යවාසය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසයි.

ජාත්‍යන්තර අත්දැකීම් අනුව අත්අඩංගුවට පත්වන මත්ද්‍රව්‍යවලින් 90% ක් පමණ ඉතා සූක්ෂම අයුරින් නැවතත් වෙළඳපොළට පැමිණෙන බව බව නියෝජ්‍ය අමාත්‍යවරයා බ්‍රහස්පතින්දා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය.

"ජාත්‍යන්තර අත්දැකීමෙන් අපි දන්නවා, සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවලින් 90%ක්ම නැවත වෙළඳ පොළට යනවා කියන එක. ඉතින් අපි බොහොම ප්‍රවේසමෙන් ඉන්න ඕන. විමසිල්ලෙන් ඉන්න ඕන," ඔහු පැවසීය.

මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක්?

නීතිමය කටයුතු සඳහා අවශ්‍ය මත්ද්‍රව්‍ය ප්‍රමාණය පමණක් රඳවාගෙන ඉතිරිය ප්‍රසිද්ධියේ ගෝල්ෆේස් පිටියට ගෙනැවිත් විනාශ කළ යුතුය යන්න සිය මතය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

කොළඹ වරාය අසල යාත්‍රා කරමින් තිබුණු නැවක තිබී කොකේන් කිලෝග්‍රෑම් 800 ක් අල්ලා ගන්නා ලද බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුගිය සතියේ නිවේදනය කළේය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් අල්ලා ගන්නා ලද විශාලතම කොකේන් තොගය එයවන අතර, එහි වටිනාකම රුපියල් කෝටි 800 ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

පසුගිය මාස කිහිපය ඇතුළත කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1200 කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට කිසිදු ඉඩක් ලබා නොදෙන බව අවධාරණය කළේය.