ළමා සහ කාන්තා රැකවරණයට නව ක්‍රියාකාරී සැලැස්මක්

ශ්‍රී ලංකාවේ කාන්තාවන් ලිංගික සහ ලිංගිකත්වය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීම වළක්වා ගැනීමේ නව ක්‍රියාකාරී සැලැස්මක් දියත් කරනු ලැබ ඇත.

එම සැලැස්ම සැකසුනේ ළමා සහ කාන්තා කටයුතු භාර අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) අනුග්‍රහයෙනි.

'ළමුන්ට සහ කාන්තාවන්ට හිංසාවෙන් තොර නිදහස් ජීවිතයක්' යන්න, ළමුන් සහ කාන්තාවන් ලිංගික සහ ලිංගිකත්වය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට ගොදුරුවීම මුලිනුපුටා දැමීම අරමුණු කරගත් නව ක්‍රියාකාරි සැලැස්මේ තේමාව වේ.

ප්‍රධාන අමාත්‍යාංශ හා වෙනත් බහුවිධ අංශවල නියෝජනය ද ඇතිව නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

නව ක්‍රියාකාරී සැලැස්ම දියත් කරනු ලැබීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ කාන්තා සහ ළමා කටයුතු භාර ඇමතිනී චන්ද්‍රානී බණ්ඩාර එය කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ ජාතික සැලැස්මක්වන බවත් ළමුන්ට සහ කාන්තාවන්ට එල්ලවන අසාධාරණ එමගින් අවම කරගැනීමට හැකි වනු ඇතැයි විශ්වාසය තබන බවත් කියා සිටියාය.

මෙය දිගුකලක් ගෙනගිය අරගලයක ජයග්‍රහණයක් වන බව ද ඇමතිවරිය පෙන්වා දුන්නාය.

ශ්‍රී ලංකාව තුළ ළමුන්ට සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ හිංසාකාරී ක්‍රියා පිළිබඳව බෙහෙවින් වාර්තාවන අතර, එයින් පෙන්නුම් කෙරෙන්නේ අපරාධවල වැඩිවීමක්දැයි මාධ්‍යවේදීන් ඇමතිවරියගෙන් විමසූවිට ඇයගේ පිළිතුර වූයේ, අපරාධ පිළිබඳව පැමිණිලි කිරීම් පෙරට වඩා නිදහසේ සිදුකිරීමට හැකි වාතාවරණයක් යටතේ ජනතාව වැඩි වැඩියෙන් පෙරට පැමිණ පැමිණිලි කරන හෙයින් ඒවා වැඩි වූ ආකාරයක් පෙනී යන බවය.

කාන්තා නියෝජනය පිළිබඳව මතුවූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් චන්ද්‍රානි බණ්ඩාර ඇමතිවරිය කාන්තාවන්ට අඩුතරමින් 25%ක මහජන නියෝජනයක් සහතික කරගැනීමට ඉදිරිකාලය තුළ පියවර ගනු ලබන බව සඳහන් කළාය.