ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
“මන්ත්‍රීවරියන්ට හිරිහැරයි” - පබාගෙන් නොකී කතාවක්
පාර්ලිමේන්තුව තුළදී ලිංගිකත්වය පදනම් කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හිරිහැරයට ලක්වන බව හිටපු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි (පබා) පවසන්නීය.
හිටපු මන්ත්‍රීවරිය එම ප්‍රකාශය කළේ ලෝකය පුරා මන්ත්‍රීවරියන් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ලිංගික සහ වෙනත් හිරිහැරයට ගොදුරුවන බව පැවසෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) නව වාර්තාව සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අනිසි බලපෑම්වලට ගොදුරුවෙන නමුත් ඉතා උසස් මට්ටමින් කටයුතු කරන මහජන නියෝජිතයන් ඔවුන් අතර සිටින බවත් හිටපු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි පවසන්නීය.
'අනවශ්‍ය යෝජනා'
"මේ ගැටලුව හැමෝගෙන්ම එල්ල වෙන්නේ නැහැ. ඒ වගේ මානසිකත්වයෙන් යුක්ත අතලොස්සක් පමණයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. හැබැයි, ඒ අතලොස්ස කරන දේ ප්‍රමාණවත්," හිටපු මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නීය.
මහජන නියෝජිතයන් හැටියට මන්ත්‍රීවරියන්ට වෙනත් දේශපාලනඥයන් සමඟ කටයුතු කිරීමට සිදුවන අතර, එවැනි අවස්ථාවන්හි දී ඇතැම් දේශපාලනඥයන්ගෙන් කාන්තාවන් වීම නිසාම තමන්ට අනවශ්‍ය බලපෑම් එල්ල වූ බව ඇය සඳහන් කළාය.
"මට පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. මම දේශපාලනයට එන්නේ විවාහ වෙලා. ඒ අවස්ථාවේ මට තිබුණ පිළිගැනීම සහ මම දික්කසාදවීමෙන් පසු ලැබුණ පිළිගැනීම හාත්පසින්ම වෙනස්. ඉන් පස්සේ මට අනවශ්‍ය යෝජනා - ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා වූ යෝජනා ආදිය ඉදිරිපත් වුනා. එවැනි යෝජනා ඉදිරිපත් කළ පුද්ගලයන් මට උදව් කරන බව පවසමින් ඔවුන්ගේ කාර්යාලවලට එන මෙන් මට ආරාධනා කළා," හිටපු මන්ත්‍රීවරිය ඇය මුහුණදුන් අත්දැකීම් විස්තර කළාය.
"පිටරට සංචාර යාම සඳහා ඇතැම් දේශපාලනඥයන් මට ආරාධනා කළා. පිටරට ගියාම ඔවුන් හමුවීමට ටෙලිපෝන් කරන්න කියනවා. ඒ වගේ අත්දැකීම් මට තියෙනවා" හිටපු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
ඇය පෙන්වා දෙන පරිදි මෙම තත්ත්වය ශ්‍රී ලංකාව තුළ දරුණු ඛේදවාචකයකි.
සමස්තයක් වශයෙන් වෙළෙඳ දැන්විම් ඇතුළුව බොහෝ මාධ්‍ය වැඩසටහන් තුළ පවා යම් මට්ටමින් කාන්තා හිංසනයක් සිදුවන බව ඇය පෙන්වා දෙන්නීය.