කෝප් කමිටු සභාපති ගැන අපට විශ්වාසයි - අගමැති

කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපතිවරයා කෙරෙහි පූර්ණ විශ්වාසය පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

"අපි සියලු දෙනා එක් වී සභාපතිවරයෙක් පත් කර ගත්තා. එතුමා ගැන අපේ විශ්වාසය තිබෙනවා. ඒ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ." යැයි ද කෝප් වාර්තාව සම්බන්ධයෙන් හටගෙන ඇති මතභේදාත්මක තත්ත්වය පිළිබඳ අද (ඔක්. 25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අගමැතිවරයා පැවසීය.

කෝප් කමිටුවේ වගකීමවන්නේ අදාළ නිර්දේශ වාර්තා කිරීම පමණක්වන අතර ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නිගමනයකට එළැඹීමට පාර්ලිමේන්තුවට හැකිබව කී අගමැතිවරයා පෙන්වා දුන්නේ,"මෙතන මතභේද තිබෙනවා, අර්බුද තිබෙනවා. මම කථානායකතුමාටත් කිව්වා කෝප් සභාව වාර්තාවක් දෙන්න, යම් ගැටලුවක් ඇත්නම් කථානායකතුමාට පුළුවන් තීරණයක් ලබා දෙන්න." යනුවෙනි.

ඒකාබද්ධ විපක්ෂය

මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ බහුතරයක් කෝප් කමිටු සාමාජිකයන් විසින් අත්සන් තබනු ලැබූ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමේ උත්සාහයක් පවතින බවට සැකයක් මතු වන බවය.

අයවැය විවාදය ආරම්භ වීමට නියමිතව ඇති බැවින් කෝප් වාර්තාව විවාදයට ගැනීම සඳහා ඇත්තේ තවත් සතියක පමණ කාලයක් බවත් ඔහු සඳහන් කළේය.

"අයවැය විවාදය පටන් ගත්තට පස්සේ මෙවැනි කටයුත්තකට තියන ඉඩ ඇහිරෙනවා."යැයි ඔහු පෙන්වා දුන්නේය.

එජාපය

එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කෝප් කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කියා සිටියේ කමිටු සභාපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවට කමිටු සාමාජිකයන්ගෙන් බහුතරයක් අත්සන් තබා නොමැති බවය.

කෙසේවෙතත් කමිටු සභාපතිවරයා විසින් ඉදිරිපත් කොට සම්මත කරන ලද සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක එහිදී කියා සිටියේය.

කෝප් සභාපති

බදාදා සවස නැවත කමිටුව රැස්වන බවත් මෙම සතිය ඇතුළත අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති එහිදී පැවසීය.

මහා බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළ කෝප් කමිටු වාර්තාව සැකසීමේදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ගේ පිළිවෙත හමුවේ තමන්ට එකඟවිය නොහැකි කරුණු මත, ඔවුනට රිසි පරිදි තාවකාලික සභාපතිවරයකු යටතේ වාර්තාවක් සකස්කරගන්නා ලෙස දන්වමින් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති ඊයේ(ඔක්.24) පැවැති රැස්වීමෙන් ඉවත් විය.