වෙන්නප්පුව පොලිස් ප්‍රහාර චෝදනා ගැන පොලිස් පරීක්ෂණ

වීඩියෝ ශීර්ෂ වැකිය, වෙන්නප්පුව පොලිස් ප්‍රහාර චෝදනා ගැන පොලිස් පරීක්ෂණ

වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් කීප දෙනකු තමාට පහරදී නීති විරෝධී ලෙස මත්පැන් පෙරූ බවට බොරු චෝදනා එල්ල කොට අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව බොරලැස්ස ප්‍රදේශයේ වැසියෙක් චෝදනා කරයි.

පහර කෑ බව කියන නාත්තන්ඩිගේ මහේෂ් කුමාර ප්‍රනාන්දු නමැති තරුණයා මේ වන විට මාරවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

පෞද්ගලික කරුණක් මුල් කර ගනිමින් තමා සහ මිතුරකු අතර දබරයක් සිදු වූ අතර යම් කිසිවකු විසින් ඒ බව පොලිසියට දන්වා ඇති බවයි මහේෂ් කුමාර පවසයි.

ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ තමා සහ තම මිතුරා පොලිසියට රැගෙන ගොස් පහර දුන් බවයි ඔහු කියා සිටින්නේ.

බරපතළ ලෙස පහර දීමෙන් අනතුරුව නීති විරෝධී ලෙස මත්පැන් පේරූ බව කියමින් බැරල් කීපයක් හා ඒ සඳහා යොදා ගන්නා උපකරණ සමග තමා අධිකරණයට යොමු කල බවත් මහේෂ් කුමාර පවසයි.

මහේෂ් කුමාර නගන චෝදනාව පිළිබඳ වෙන්නප්පුව මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාරගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් පරිදි ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි .

අඟහරුවාදා රාත්‍රියේ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයා මාරවිල මූලික රෝහලට ගොස් මහේෂ් කුමාරගෙන් තොරතුරු විමසා ඇති අතර සිද්ධිය ඇසින් දුටු පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම අද (17) සිදු කිරීමට නියමිතව තිබුණි.